javascript hit counter

සයිබර් අපරාධ වැළැක්වීමට නව සයිබර් ආරක්ෂණ පණතක්

සයිබර් අපරාධ වැළැක්වීමට නව සයිබර් ආරක්ෂණ පණතක්

අන්තර්ජාලය හරහා ළමුන්ට සහ කාන්තාවන්ට සිදු වන සයිබර් අපරාධ වළක්වමින් වරදකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නව සයිබර් ආරක්ෂණ පණතක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ඒ සඳහා පොලිසිය බලගන්වමින් අවශ්‍ය තාක්ෂණික ඥානය සහ පුහුණුව සපයන බවත් මහවැලි, කෘෂිකර්ම,වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පැවසිය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27(2) යටතේ විමසන ලද ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමිනි.

 මේ සඳහා වරදකරුවන්ට ලබා දෙන දඩුවම් වැඩි කිරීම මෙන්ම ජනතාව දැනුම්වත් කිරීමද අත්‍යාවශ්‍ය බව සඳහන් කළ අමාත්‍යවරයා, කාන්තා හා ළමා අපචාර මැඩ පැවත්වීම සඳහා ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවද ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන කාර්යංශ 44ක් සහ පොලිස් ස්ථාන ඒකක 498ක් සවිබල ගන්වා ඇති බවද සඳහන් කළේය.

තවද විශේෂ පුහුණුවක් ලත් දේශීය සහ විදේශීය නිලධාරිනියන් එම ඒකකයන්ට අනුයුක්ත කරමින් එම අපරාධ නිවාරණය කිරීම සදහා කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. තවද රාජ්‍ය නිලධාරින් , දෙමාපියන් , සිසුන් විවිධ සමාජ කණ්ඩායම් සම්බන්ධ කරගනිමින් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හරහා අවශ්‍ය දැනුම්වත් කිරීම් සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 ළමුන් හා කාන්තාවන් අපරාධ වලට යොමු වීම වළක්වා ගැනීම සඳහා බහු විධ ප්‍රවේශයක් තුළින් ක්‍රියාත්මක විය යුතු බව පැවසූ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, ඒ සඳහා මෙම විෂය සම්බන්ධ විවිධ රාජ්‍ය නිලධාරින් සහ ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධ කර ගන්නා බවද කීය.

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *