javascript hit counter

රටේ වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග – අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ ප්‍රකාශය

රටේ වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග – අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ ප්‍රකාශය

රටේ වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ ප්‍රකාශය (2020.04.07)

මම ඔබ අමතන්නේ කොරෝනා වසංගතයට එරෙහිව අපේ රජයත්, ජනතාවත් දැවැන්ත යුද්ධයක යෙදිලා ඉන්න මොහොතක. මුළු ලෝකයේම රටවල් 200කට අධික ප්‍රමාණයක් මේ වසංගතයට එරෙහිව සටන් කරන ආකාරයත්, ඒ රටවල දහස් ගණන් ජනතාවගේ දේහයන් සුසාන භූමියට ගෙනියන ආකාරයත් ඔබ ප්‍රවෘත්තිවලින් දකිනවා.

අපි ජීවත් වෙනවාද නැද්ද කියන දේ තීරණය වෙන්නේ මේ වසංගතය මර්දනය කරන්න කටයුතු කරන ආකාරය අනුවයි. අපේ අවධානය, අපේ කැපවීම, විනය කියන දේවල් අනුව තමයි මේවගේ වසංගතයකදි අපි ජීවත් වෙනවාද, මැරෙනවාද කියන දේ තීරණය වෙන්නේ.

ඒ නිසා මේ වසංගතය ලෝකයෙන් වාර්තා වුණ මොහොතේ ඉඳන්ම ජනාධිපතිතුමත්, රජයත් ජනතාවගේ ජීවිත ගැන දැඩි අවධානයකින් කටයුතු කළා. මේ තත්වය තේරුම්ගත්ත නිසා තමයි චීනයේ

වූහාන් නගරයේ හිර වුණු ලාංකික පිරිස ලෝකයේ බොහෝ දෙනකුට කලින් ගුවන් යානාවක් යවලා මේ රටට ගෙන්න ගන්න කටයුතු කළේ. ඒ පිරිස අරගෙන එන කොටත් අපි අපේ රටේ නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවලා ඉවරයි. එතැන් සිට ලංකාවට එන සිය ගණන් පිරිස් නිරෝධායනය කරන්න පුළුවන් මධ්‍යස්ථාන රාශියක් ඉතාම කෙටි කාලකදී අපි මේ රටේ පිහිටෙව්වා. දැන් වරකට දහස් ගණනක් නිරෝධායනය කරන්න වුවමනා නිරෝධායන මධ්‍යස්ථාන හතළිහකට ආසන්න ප්‍රමාණයක් අපි පිහිටවලා තියෙනවා. මේ නිරෝධායන මධ්‍යස්ථාන නිකංම නවාතැන් පොළවල් නෙවෙයි. හොඳ මට්ටමේ ගොඩනැගිලි, ඇඳන්, වෛද්‍යවරු, උපස්ථායකයින්, බෙහෙත්-හේත්, උපකරණ, වැසිකිළි කැසිකිළි , සෞඛ්‍ය සම්පන්න කෑම බීම විතරක් නොවෙයි කොත්තමල්ලි කෝප්පය පවා මේ දහස් ගණනකට දින 14 ක් පුරා අඩුවක් නැතිව ලබා දෙනවා. මූණ ඇඹුල් කරගෙන නිරෝධායනයට යන අය අද හිනාවෙවී එළියට එන්නේ ඒවා අඩුවක් නැතිව සපයන්න පුළුවන් වෙලා තියෙන නිසයි. ඒ වාගේම කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන්න විශේෂ රෝහලක් අපි දින හයකින්, වැලිකන්දේ ඉක්මනින් ඉදිකළා.

ඒ විතරක් නෙවෙයි, ලංකාවට එන අය පරීක්ෂා කරලා රෝගය ගැන සැක අය ඉන්නවා නම්, ඒ අය ඇසුරු කළ දහස් ගණනක් හඳුනා ගෙන ඒ අයවත් ගෙවල්වලම තියලා නිරෝධායනය කරවන්න අපි කටයුතු කළා. නිරෝධායනය මගහරින දහස්ගණන් හඳුනාගෙන ඔවුන්ගෙන් සමාජය මුදවා ගන්න රාජ්‍ය බුද්ධි අංශ පවා යොදව ගන්න ජනාධිපතිවරයාට සිදුවෙලා තියෙනවා.
අපි පළමුවෙනි කොරෝනා රෝගියා වාර්තා වුණ වහාම සියලු පාසල්, විශ්වවිද්‍යාල නිවාඩු දීලා දරුවන්ව රෝගයෙන් මුදවා ගන්න කටයුතු කළා. මේ සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් ආසියාතික රටවල් අතරින් මුලින්ම ස්ථාපිත කළේ අපි. ගුවන්තොටුපොළෙන් ලංකාවට පැමිණීම නතර කළා. නිරන්තරයෙන් අපේ ප්‍රතිපත්තිය වුණේ ජනතාව අපහසුතාවට පත් නොකර ජනතාවගේ වුවමනාවන් සම්පූර්ණ කරන්න. ඒ නිසා අපි යුද්ධ කාලෙවත් ඇඳිරි නීතිය පැනෙවුවේ නෑ. මේ තත්වයේදී සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස්වලට අවධානය යොමුකරලයි අපි ඇදිරිනීතිය පැනෙවුවේ.

ඇඳිරි නීතිය පැනවීමත් එක්කම අපේ දහස් ගණන් කර්මාන්තශාලා, ව්‍යාපාර වගේම රජයේ කාර්යාල වහන්න වුණ බව තමුන්නාන්සේලා දන්නවා. එහෙම වුණත් එදිනෙදා ජන ජීවිතය අඩුවක් නැතිව පවත්වාගෙන යාමේ ඉතාම භාරධූර වගකීමත් රජය ඉටුකරමින් ඉන්නවා. විදුලිය, ජලය, ගෑස් අඩුපාඩුවක් නැතිව සැපයීමේ වගකීම රජය දැන් භාරගෙන තියෙනවා. කෑම බීම, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය දේ රටටම බෙදා හැරීමේ වගකීම ජනාධිපතිවරයාගේ සහ මාගේ මගපෙන්වීම යටතේ අරලිය ගහ මන්දිරයේ සිට මෙහෙයුම් කටයුතු සිදුකරන අත්‍යාවශ්‍යසේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය ඉටු කරනවා. ඒවගේම එම කටයුතු නිසි ආකාරව සිදුවනවද යන්න සොයා බලන්නත් අපි වැඩ පිළිවෙළක් සකස් කරලා තියෙනවා.

ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කරන්න කළ හැකි හැම දෙයක්ම කළා. වැඩිහිටි ආධාර ලබන පිරිස හාරලක්ෂ දහසය දහසක්. නමුත් අපි වැඩිහිටියෝ හාරලක්ෂ හතළිස් දෙදාහකට රුපියල් පන්දාහ ගණනේ ඉක්මනින් ලබා දුන්නා. ඊළඟට අපිට ආබාධිත ජනතාවගේ යැපීම ගැන බලන්න වුණා. ආබාධිත දීමනාව ලබන 22,000 යි හිටියේ. තවත් 38,000කටත් එක්කම රුපියල් 5000 දුන්නා. ගොවියෝ එක්ලක්ෂ හැටදාහකට අපිට මේ දීමනාව දෙන්න වුණා. ධීවරයෝ 4600 කට ඒ දීමනාව දුන්නා. වකුගඩු රෝගීන් හිටියේ 25,000යි. පොරොත්තු ලේඛනයේ ඉන්න 13,850 කටත් ඒ දීමනාව ගෙව්වා. ගර්භණී මව්වරුන්ට, මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට රාජ්‍ය සේවකයන් මගින් ත්‍රිපෝෂ ඇතුළු දේ ගෙවල්වලට යවලා ඉවරයි. පසුගිය දවස්වල විශ්‍රාමිකයෝ හයලක්ෂ හතළිස්පන්දහසකට විශ්‍රාම වැටුප වෙලාවට ගෙව්වා.

දැන් රජයේ ආයතන වසා දමා තිබෙන නිසා රාජ්‍ය සේවකයෝ පහළොස් ලක්ෂයක් ඉන්නේ ගෙදර. නමුත් මේ පහළොස් ලක්ෂයකටම අප්‍රේල් මාසයේත් වැටුප දැනටමත් ගෙවන්න කටයුතු කරලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි රැකියා විරහිත උපාධිධාරීන් 40,000 ක් රාජ්‍ය සේවයට බඳවා ගන්න අපි සූදානම් වෙලා හිටියේ. ඒ අය මෙම නිරෝධායන කටයුතුවලට යොදා ගෙන ආර්ථික ශක්තියක් දෙන්න අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි සමෘද්ධිලාභීන් මේ රටේ ලක්ෂ 17 ක් ඉන්නවා. පොරොත්තු ලේඛනයේ තවත් හයලක්ෂයක්. ඒ විසිතුන් ලක්ෂයටම අපි රුපියල් 5000 දීමනාවත් දීලයි මේ තත්ත්වයට මුහුණ දෙමින් අපි කටයුතු කරන්නෙ.

අපි මෙහෙම කරගෙන යනකොට මේ රටේ නතර වුණ ව්‍යාපාර ගැනත් හිතන්න වුණා. මේ රටේ ත්‍රිරෝද රථ, පාසල් බස්, වෑන් වාගේ දේවල්වලින් රස්සාව කරන ලක්ෂ පහළොවක් හිටියා. මේ සියලු දෙනාට අපි කල්බදු වාරික සහනය දුන්නා. ඇදිරි නීතිය නිසා ව්‍යාපාර කටයුතු කරගන්න බැරි අයට සහනයක් දෙන්නත් රජයට සිදු වුණා. ශ්‍රී ලංකා මහ බැංකුව දැනටමත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට සහන දෙන්න පටන් අරන්.

අපි මෙපමණ මුදලක් වෙන් කරලා ජනතාවට සහන දුන්නේ පාර්ලිමේන්තුවෙන් අයවැයක් සම්මත කරගෙන නෙවෙයි. මේ දේවල් එකක්වත් කරන්න ජනාධිපතිතුමාට පාර්ලිමේන්තුවේ සහය ගන්න ඉඩ ලැබුණේ නෑ. පාර්ලිමේන්තුව විසිරුවා හරින්න කලින් රජයේ කටයුතු පවත්වාගෙන යන්න අතුරු අයවැයක් සම්මත කරගන්න ගිය අවස්ථාවේ අපට පාර්ලිමේන්තුවේ සහාය දුන්නේ නෑ. එබඳු තත්ත්වයක් යටතේ නැවතත් පාර්ලිමේන්තුව රැස් කිරීමේ කවර ප්‍රයෝජනයක්ද කියලා පරමාධිපත්‍ය බලය තියෙන ජනතාව දැන් අපි කාගෙනුත් අහනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපතිවරයා ජනාධිපතිතුමාට කතා කරලා මේ අපේ වැඩපිළිවෙළට ප්‍රශංසා කර අගය කළ බව මුළු ලෝකයම දන්නවා. මේ මොහොතේ ලක්ෂ 50 කට වඩා ජනතාවට රජය ඍජු සහනාධාර ලබා දීලා ඉවරයි. මේ ප්‍රශ්නවලට මුහුණ දෙන අතරේ අපිට වාද විවාදවල යෙදිලා ඉන්න වුවමනා නෑ. රටේ ජනතාවගේ හතරෙන් එකකට අපි ආධාර දුන්නේ රටේ ආදායම යහපත් තත්ත්වයක පැවතිලා නෙවෙයි. මේ මොහොත වෙනකොට රජයට ආදායම් ලැබෙන සියලු මාර්ග අකර්මණ්‍යයි.

මේ වෛරසය පැතිරෙන නිසා අපේ ඇඟළුම් යුරෝපා රටවලට යැවීම නතර වෙලා. ඒ නතර වුණේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. ඉතාලිය, මැදපෙරදිග රටවල ශ්‍රමිකයෝ එවන මුදල අපේ රටේ ආර්ථිකයේ වැදගත් කොටසක්. ඒ ආදායමත් කොරෝනා වසංගතය පැතිරෙන නිසා ලංකාවට ලැබෙන්නේ නෑ.

මුළු ලෝකයේම සංචාරක ව්‍යාපාරය කඩා වැටිලා. ජාත්‍යන්තර ගුවන් සේවා සමාගම්වල ඉඳන් අපේ මුහුදු වෙරළේ සිප්පි කටුවටත් මේක බලපානවා. දැනටමත් ලෝකයේ වාගේම අපේ රටේ සංචාරක හෝටල්වල කෑමබීම, ප්‍රවාහන ක්ෂේත්‍ර ඇනහිටලා. මේ වාගේ තත්ත්වයක් යටතේ තමයි අපිට මේ වසංගතයට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අපි නැහැයි කියන්නේ නෑ. ජනතාවට බැහැයි කියන්නෙත් නෑ. මේ සටන අතහරින්නෙත් නෑ.

කිසිම මොහොතක අපි දේශපාලන, ජාතික, ආගමික වශයෙන් හිතලා තීන්දු ගත්තේ නෑ. ගන්නෙත් නෑ. සියලුම දේශපාලන පක්ෂ නායකයෝ ඉතාම උනන්දුවෙන් රජයට සහාය දෙන්න ඉදිරිපත් වුණ මොහොතක් මේ. මේ ආගමික ජාතික වශයෙන් බෙදී වෙන් වී හිතන වෙලාවක් නොවේ. අපිට මේ මොහොතෙ ඉන්න පුළුවන් එක හතුරෙක් විතරයි. ඒ කොරෝනා කියන සතුරා විතරයි. අපි මොන ආගමේවුණත් මොන ජාතියේවුණත් මෙන්න මේ සත්‍ය අපි සියලු දෙනාම තේරුම් ගන්න ඕ‌ෙන. දැන් බලන්න මහානායක හාමුදුරුවරු ඉල්ලීමක් කළා, මේ බක් පොහොයට පන්සල් එන්න එපා කියල. මොනතරම් මිනිස්සු ගැන තියෙන ආදරයක් ද හැගීමක් ද මේ ප්‍රකාශ වෙන්නෙ. ඒ නිසා අපි හිතන්න ඕනේ ජීවත්වෙන අය ගැනයි. මේක ආගමකට, ජාතියකට විශේෂ වුවමනා, චාරිත්‍ර වාරිත්‍ර ඉටුකරන වෙලාවක් නෙවෙයි. මේක රට ගැන හිතන වෙලාවක්. පොදුවේ මනුෂ්‍යයන් හැටියට හිතුවොත් විතරයි අපට මේ මිනී වළෙන් එහාට පනින්න පුළුවන් වෙන්නේ කියන එක මතක තියා ගන්න ඕනේ.

මතක තියා ගන්න දරුවෝ, බිරිඳ, ගෙදර ඉඳිද්දී තමන්ට රෝගයට මූණ දෙන්න වෙන බව දැන දැන ඇවිත් රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්යයමණ්ඩලයක් අපට ඉන්නේ. ඇතැම් වෛද්‍යවරු තමන්ගේ ඇඟේ කොරෝනා පොසිටිව් වෙනතුරු තමන් රෝහලෙන් යන්නේ නෑ කියලා වැඩ කරනවා. වෙනත් රටවල මුහුණු වැස්මක් දුන්නේ නෑ කියලා සේවය අතහැර ගිය හෙදියොත් ඉන්නවා. නමුත් අපි ආඩම්බරව කියන්නේ, අපේ රටේ ඉන්නේ තමන්ගේ මුහුණ වැස්ම තමන්ම මහගෙන ඇවිත් තම වගකීම ඉටු කරන හෙද පරපුරක්. රෝහල් උපස්ථායකයෝ, ගිලන් රථ රියැදුරෝ කිසිම රෝගියෙක් අතහැරලා නෑ. ඒ වගේම මරණ තර්ජන නිසා ඇතිව තිබෙන ජීවිත අවදානම පවා නොතකා ගෙයින් ගෙට ගිහින් සේවය කරන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අපිට ඉන්නවා. ඔබත් මාත් ජීවත් වෙන්නේ එබඳු සෞඛ්‍ය සේවාවක් තියෙන රටක. ඒ වගේම අනෙකුත් අවශ්‍ය සේවාවල වගකීම් ඉටුකරන රාජ්‍ය සේවකයිනුත් සිහි කරන්න ඕනේ. ඒවගේම අපේ පළාත් පාලන ආයතනවල කැපවීම අපි කවුරුත් අගය කළ යුතුයි.

එදා තමන්ට මරණය තියෙන බව පෙනි පෙනී වැල නොකැඩී ඇවිත් ත්‍රිවිධ හමුදාවට, පොලිසියට බැඳුණු තරුණයෝ අද වෛරසය තිබෙන්නේ කොතැනද, එතැන හොයාගෙන යනවා. තමන් ඉන්න බැරැක්කය රෝගියාට දීලා ඒ අය සිමෙන්ති පොළොවේ නිදා ගන්නවා. ඒ විතරක් නෙවෙයි ලක්ෂ ගණනක් අපේ දූ දරුවෝ මේ කොරෝනා වසංගතයට එරෙහිව කරන මෙහෙයුමට ආධාර කරන්න, අපි ආරාධනා කරන තෙක් ගෙවල්වල සූදානමින් ඉන්නවා. එබඳු රටක ඔබ තනි වෙන්නේ නෑ.

අපි දිගු කාලයක් ගත කරන්නේ නැතිව ඉක්මනින් මේ වසංගතය ජය ගන්න ඕනෑ. ඒ වගේම ඔබව ආරක්ෂා කිරීමට රජය ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයකටම සහය ලබා දෙන ලෙස මා ඔබගෙන් කාරුණිකව ඉල්ලනවා. මේ ව්‍යසනය පරාජය කළාට පසුව ජීවත් වෙන හැටි ගැන අපිට දැන්ම තියා හිතන්න වෙනවා. රටේ නිෂ්පාදනයට, බෙදා හැරීමට, වෙළෙඳාමට රජයේ මැදිහත්වීම අහෝසි කිරීමේ අදහසින් පසුගිය කාලේ ආණ්ඩුව ක්‍රියාත්මක වුණා. අද අපිට සමුපකාරය සිහි වෙනවා. කෑම බීම වාගේම සරුංගලයත් විදේශයකින් ගෙන්වීම ලාභයි කියන මතය අනුව තමයි ඒ ආණ්ඩුව වැඩ කළේ. ස්වයංපෝෂිත ගෙදරක් සඳහා අපි ඇති කළ ගෙවතු වගාව වාගේම කුඹුරු වගාවත් පසුගිය යුගයේ කඩා වැටුණා. දැන් නැවත මේ රටේ ජනතාව හිතන්න පටන් අරන්. කොළඹ නගරයේ ඉඳන් ඈත ගම් බිම් දක්වා සෑම ගෙවත්තක්ම වගා කරන්න සුදානම් වෙන හඬ අපිට ඇහෙනවා. අපේ ආහාර අපිම හදාගන්න ජනතාව සූදානම් වෙන බව අපිට දැනෙනවා. අපි ඒ සෑම දෙයකටම දිරි දෙනවා. අපේ දැඩි සත්කාර ඒකකවලට වුවමනා ඇඳන් අපේම තරුණයෝ හදනවා. සමහර තරුණයෝ රෝගීන් වෙනුවෙන් රොබෝ යන්ත්‍ර පවා දැනටමත් හදනවා. මේ කියන්නේ අපට පුළුවන්. රට ගැන හිතන මේ සියලු දෙනා ගැන මම ආඩම්බර වෙනවා. ඒ නිසා අපි කොරෝනා වසංගතය පරාද කරලා අපේම ආහාර, අපිම වගා කරන, අපේම කර්මාන්ත දියුණු කරන, අපේ ශක්තිය ලෝකෙට පෙන්වන ශක්තිමත් රටක් වශයෙන් නැගිටින්න වෙනවා.
ඉතිහාසයේ අපි මීට වඩා දුෂ්කරතාවලට මුහුණදීලා තියෙනවා. ත්‍රස්තවාදය තිබුණ කාලේ අවුරුදු විස්ස තිහ අනාථ කඳවුරුවල ජීවත් වෙලා තියෙනවා. දරු පැටව් එක්ක මහ රෑ හබරල ගාල්වල නිදාගෙන තියෙනවා. එබඳු පරිත්‍යාගයක් කරපු ඔබට රට වෙනුවෙන් මේ ටික කාලය ගෙදරට වෙලා ඉන්න එක කරන්න බැරි දෙයක් නෙමෙයි කියලා මම හිතනවා. රට වෙනුවෙන් ඒ පරිත්‍යාගය කරන්න කියලා මම මගේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වෙනත් රටවල් මුහුණ දීපු ඛේදවාචකයට මුහුණ දෙන්නේ නැතිව නැගිටින්න අපට පුළුවන් බව මට විශ්වාසයි. අපි දියණු ජාතියක් විදියට විතරක් නෙවෙයි නිරෝගී ජාතියක් විදියටත් නැගිටින්න ඕනේ.

ඔබ සැමට සුබඅනාගතයක්.
තෙරුවන් සරණයි!

admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *